අධ්‍යාපනික, ඉතිහාසය, සාහිත්‍ය කළා විචාර

අකිරා කුරෝසොවා

Off

මම බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිත කථා කියවා ඇත්තෙමි. මේ අතර මා ඉතාමත් අගය කළ චරිත කිහිපයක් වෙයි. ඒ ඔවුන්ගේ චරිතවල ඇති පරමාදර්ශීභාවයම පමණක් නොව සමහර විට ඒවායේ ඇති වර්ණවත්භාවය සහ ලියා ඇති ශෛලියයි. ගෙන්ගිස් ඛාන්, අයින්ස්ටයින්, ලෙනාර්ඩො ඩාවින්සි, හැනිබල්, ජනාධිපති කෙනඩි, පිදෙල් කස්ත්‍රෝ, නෙල්සන් මැන්ඩෙලා මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී.

මේ අතරින් මම තිදෙනෙකුගේ චරිත කථා; අයින්ටයින්, පිදෙල් කස්ත්‍රෝ සහ නෙල්සන් මැන්ඩෙලාගේ සිංහලෙන් ලියා පළ කලෙමි. මම ගිය සතියේ ලෝකයේ හොඳම සිනමා අධ්‍යක්ෂක කෙනෙකු ලෙස පිළිගැනෙන; අග්‍රගණ්‍යයේ අධ්‍යක්ෂකවරයා නොවන්නේ නම්, අකිරා කුරෝසාවාගේ ස්වයං චරිතාපදානය කියවා අවසන් කලෙමි. ‘Something like an autobiography’ නමින් ලියා ඇති මෙම පොත මම කියවා ඇති අනෙක් බොහෝ චරිත කතාවලට වඩා වෙනස්ය. එයට ප්‍රධාන හේතුවක් විය හැක්කේ මෙම පොත ස්වයං චරිතාප්‍රදානයක් වීම විය හැක. අනෙක් කාරණය ඔහු මෙම පොත ලියා ඇති අවංක ආකාරයයි. තමන්ට යම් අවස්ථාවල ඇතිවන හැඟීම් පවා එයින් තමන්ට වන කැළලක් හෝ අපහසුතාවයක් ඇතිවීමට ඉඩක් තිබුණද ලියා ඇති ආකාරයයි.

ඔහු මෙම පොත ලියා ඇත්තේ අකමැත්තෙනි. එම කරුණ ඔහු පොත ලියන්නට පටන් ගන්නා විටම ප්‍රකාශ කර සිටී.

“මගේ මිතුරන් බොහෝ දෙනෙකු මගෙන් ස්වයං චරිතාප්‍රදානයක් ලියන ලෙසට ඉල්ලා සිටියහ. ඔවුනට කලාකරුවා කැමරාවේ සහ මයික්‍රොෆෝනයේ උදව්වෙන් ඔහුගේ අදහස් දැනටමත් ප්‍රකාශ කර තිබීම ප්‍රමාණවත් නොවන සැටිය. ඔවුනට කලාකරුවා කවුදැයි දැන ගැනීමටත් වුවමනාය.”

1910 වසරේ ඉපදෙන අකිරා, සමුරායි පවුලකට අයත් දරුවෙකි. ඔහු කුඩා කාලයේ චිත්‍රපටවල කතා නාද නොමැත. ඔහුගේ පියා තම පවුල නිතරම චිත්‍රපට බලන්නට රැගෙන යයි. ඒවා බොහෝ විට ඉංග්‍රීසි හෝ ප්‍රංශ චිත්‍රපටය. මෙය කියවද්දී මට සිතුනේ අපේ රටේ මෙම නිශ්ශබ්ද චිත්‍රපට පෙන්නුවේද, එසේ නම් ඒ කුමන චිත්‍රපට ශාලාවලද යන්නයි.

ජපානයේ කලක් යනවිට මෙම නිශ්ශබ්ද චිත්‍රපට නරඹන්නන් සඳහා චිත්‍රපටය පැහැදිලි කිරීමට කථකයන් යොදා ගැනිණ. ටික කලකින් ඔවුන්ද නළුවන් තරමටම ප්‍රසිද්ධ වූ කලාකරුවන් පිරිසක් බවට පත් විය. එම කථකයන්, නරඹන්නන් අතර අඩු වැඩි වශයෙන් ජනප්‍රිය වූ අතර ඔවුන් නිසාම චිත්‍රපට නරඹන්නන් කණ්ඩායම් ඇතිවිය. ඔවුන් ජපානයේ බෙන්ෂි නමින් හැඳින්වුනු අතර 1927 වසරේ කථකයන් 6800 ජපානයේ සිටියහ. අකිරා කුරසෝවාට බොහෝ උදව් කළ ඔහුගේ වැඩිමහල් සහෝදරයාත් මෙවැනි කථකයෙක් විය. මුලින් දෙවැනි පෙළ කථකයකු වූ ඔහු පසුව ජනප්‍රිය කථකයකු බවට පත්විය.

කතානාද චිත්‍රපට පැමිණීමත් සමගම මෙම කථිකයන්ට සිදු වූ ශෝකජනක ඉරණම අපට සිතා ගන්නටත් පුළුවන. චිත්‍රපට නරඹන්නන් අතර නළුවන් මෙන් ජනප්‍රියව සිටි මෙම පිරිස එක රැයින් කිසිම දෙයක් කරකියා ගත නොහැකි පිරිසක් බවට පත් විය. කුරසෝවාගේ සහෝදරයා සියදිවි නසා ගත්තේය.

කුරසෝවා චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණීමත් අසාමාන්‍ය කතන්දරයකි. 1935 වසරේ ඔහු පුවත්පතක චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම සඳහා ලුහුඬු දැන්වීමක් දකී. මෙය දකින තෙක් ඔහු කිසි විටෙකත් චිත්‍රපට ක්ෂේත්‍රයට ඇතුළු වීමට සිතා නොමැත. මෙලෙස සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය නම්, එකළ ජපානයේ චිත්‍රපට කර්මාන්තය තුළ කුමන අඩුපාඩු තිබේද, ඒවා නිවැරදි කළ හැක්කේ කෙසේද, යන මාතෘකාව යටතේ නිබන්ධනයක් ලියා එවන ලෙස දන්වා තිබිණ.

ඔහු මේ සඳහා නිබන්ධනයක් ලියා යවන ලද අතර මාස කිහිපයකට පසු, ඔහු එම තෝරා ගැනීමේ පළමුවන කොටස සමත්ව ඇති බව දන්නවා දෙවන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන ලෙස දැන්වීමක් ලැබිණ.

500 ක් පමණ වූ මූලික අයදුම්කරුවන් ගෙන් එකසිය තිස් දෙනෙකු මෙම දෙවන සම්මුඛ පරීක්ෂණයට තෝරාගෙන ඇති බව ඔහුට එහිදී දැන ගන්නට ලැබුණි. එසේම සහාය අධ්‍යක්ෂවරුන් සඳහා ඉඩ ප්‍රස්ථාව ඇත්තේ පස් දෙනෙකුට පමණක් බවත් ඔහුට දැනගන්නට ලැබුණි. පරීක්ෂණයට ඔවුන්ට මුලින්ම ලැබුණේ ජවනිකාවක් ලියන්නටය. ඒ සඳහා මාතෘකාවක් ලෙස ලැබුනේ පුවත්පතක තිබුණ අපරාධ ප්‍රවෘත්තියකි. ඉන්පසු වාචික සම්මුඛ පරීක්ෂණයක් තිබුණු අතර සතියකට පමණ පසු කුරසෝවා එම චිත්‍රාගාරයේ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස තෝරා ගන්නා ලද බව දන්නවා ලිපියක් ලැබිණ.

ඉලංගකෝන්ගේ විවරණය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල