අධ්‍යාපනික, ඉතිහාසය, කාලීන සංවාද, දේශපාලන, විචාර

හැත්තෑ එකක කෙරුවාව

Off

ලංකාවේ තවත් නිදහස් දින සැමරුමක් අවසන් වුණා. නිදහස් දිනයේදී බලයේ සිටින කවර හෝ ආණ්ඩුව රටේ පුරාජේරුව පෙන්වද්දී ඇතැම් අය කියන්නේ නිදහසින් පස්සේ රට අඩියක්වත් ඉස්සරහට ගිහින් නැති බවයි. සමහර අයට අනුව රට ආපස්සට ගිහින්. මේ වගේ කරුණක් ගැන නිකම්ම නිගමනයකට එන්නේ නැතුව සංඛ්‍යාලේඛණ දිහා පොඩ්ඩක් බැලුවොත් වෙලා තිබෙන දේ පැහැදිලි වෙනවා. පහුගිය අවුරුදු 71 ඇතුළත ලංකාවේ ජන ජීවිතයේ වෙනසක් වෙලා නැද්ද ? වෙලානම් ඒ මොන විදිහටද ?

1950දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 110 ක් පමණයි. 2017 වනවිට මේ ගණන ඇමරිකන් ඩොලර් 4,065 ක් වෙලා. 37 ගුණයක වැඩි වීමක්. කොහොම වුණත් 1950 ඩොලරයක් කියන්නේ 2017 ඩොලර් 10 ක් පමණ නිසා ඇත්තම වැඩි වීම 3.7 ක් පමණ. ඒ කියන්නේ නිදහසෙන් පසුව ලංකාවේ එක් පුද්ගලයකුගේ සාමාන්‍ය ආදායම එපමණ ගුණයකින් වැඩි වෙලා.

නිදහසෙන් පස්සේ ලංකාවේ ආදායම් මට්ටම් ඉහළ ගිය තරමටම ජනජීවිතය අනෙක් අංශ වලිනුත් යහපත් වෙලාද?

අධ්‍යාපන මට්ටම අනුව 1953 දී ලංකාවේ ජනගහණයේ සංයුතිය මෙහෙමයි.
පාසැල් නොගිය- 41.8%
ප්‍රාථමික- 46.8%
ද්වීතියික- 9.8%
පශ්චාත් ද්වීතියික- 1.8%

මේ සංයුතිය 2016 වෙද්දී වෙනස් වෙලා තිබුණේ මෙහෙමයි.
පාසැල් නොගිය- 3.3%
ප්‍රාථමික- 23.5%
ද්වීතියික- 44.1%
පශ්චාත් ද්වීතියික- 29.1%

1953 හා 2016 අතර නිවාස වල තත්ත්වය වෙනස් වුනේ කොහොමද ?

1953 දී රටේ ගෙවල්වලින් 59.5% ක්ම වරිච්චි හෝ මැටි බිත්ති ගෙවල්. ගඩොල් බිත්ති තිබුණේ ගෙවල්වලින් 28.9% ක පමණයි. 2016 වන කොට ගෙවල්වලින් 95.5% කම බිත්ති බැඳලා තිබුණේ ගඩොල්, සිමෙන්ති බ්ලොක් ගල් හෝ කබොක් ගල්වලින්.

1953 දී ගෙවල්වලින් 50.7 කම තිබුණේ මැටි ගෑ ගෙබිම්. සිමෙන්ති ගෙබිම් තිබුණේ ගෙවල්වලින් 24.7% ක පමණයි. 2016 වන විට ගෙවල්වලින් 95.6 කම ගෙබිම් සිමෙන්ති, ටෙරාසෝ නැත්නම් පිඟන් ගඩොල්.

1953 දී ගෙවල් 56.7% ක්ම පොල් අතු සෙවිලි කළ ගෙවල්. උළු ගෙවල් තිබුණේ 27.6% ක් පමණයි. 2016 වෙද්දී ගෙවල්වලින් 91.9% ක්ම උළු, ඇස්බැස්ටෝස් හෝ කොන්ක්‍රීට් වහල සහිත ගෙවල්.

1953 දී විදුලි බලය තිබුණේ ලංකාවේ ගෙවල්වලින් 4.1% කට පමණයි. 2016 වෙද්දී මේ ප්‍රතිශතය 96.9% දක්වා ඉහළ ගිහින්.

1953දී ශීතකරණයක් තිබුණේ ගෙවල්වලින් 0.9% ක පමණක් වුවත් 2016 වන විට ගෙවල්වලින් 52.9% කම ශීතකරණ තිබෙනවා.

1953 දී ගෙවල් 18.5% කටම වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. 2016 වෙද්දී මේ ප්‍රමාණය 0.4% දක්වා අඩු වෙලා.

1953 දී පවුලක ආදායමෙන් 59.9% ක්ම ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් 2016 දී අවශ්‍ය වෙන්නේ ආදායමෙන් 34.8% ක් පමණයි. ඒ ආහාර වේලක ගුණාත්මකභාවය විශාල ලෙස ඉහළ ගොස් තිබියදී.

මේ සියල්ල මේ විදියට වෙනස් වෙද්දී රටේ ආදායම් ව්‍යාප්තියට වෙලා තියෙන්නේ මොකක්ද ?

මේ 1953 දී තත්ත්වය
දුප්පත්ම 20% – සමස්ත ආදායමෙන් 5.1%
මැද 60% – සමස්ත ආදායමෙන් 38.3%
පෝසත්ම 20% – සමස්ත ආදායමෙන් 56.7%

මේ 2016 දී තත්ත්වය
දුප්පත්ම 20% – සමස්ත ආදායමෙන් 4.8%
මැද 60% – සමස්ත ආදායමෙන් 44.4%
පෝසත්ම 20% – සමස්ත ආදායමෙන් 50.8%

දුප්පත්ම අයගේ පංගුව සුළු වශයෙනුත්, පෝසත් අයගේ පංගුව වැඩියෙනුත් අඩු වෙලා. ඒ අඩුවීම් එකතු වෙලා තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය සුබසාධනයේ වාසිය ලබන මැදි ආදායම් ලබන කණ්ඩායමටයි.

කොහොම වුනත් එයින් අදහස් වෙන්නේ පහළ හා ඉහළ කණ්ඩායම්වල තත්ත්වය 1953 දීට වඩා නරක බව නෙමෙයි. ඒ අයගේත් ආදායම් වැඩි වී තිබුණත් එසේ වැඩි වී තිබෙන්නේ මැදි ආදායම් ලබන්නන්ට වඩා අඩුවෙනුයි.

හරියටම කියනවනම් දුප්පත්ම 20% ගේ ආදායම 3.5 ගුණයකිනුත්, පෝසත්ම 20% ගේ ආදායම 3.3 ගුණයකිනුත් වැඩි වෙද්දී මැද 60% ගේ ආදායම 4.3 ගුණයකින් වැඩි වෙලා. කාගෙවත් ජීවන තත්ත්වය පහළ ගිහින් නැහැ.

නිදහසින් පස්සේ ලංකාවේ ජන ජීවිතයේ යහපත් අතට සිදු වී තිබෙන වෙනස්කම්වලට හේතුව ආණ්ඩුද නැද්ද කියන එක කොහොම වුනත්, මේ අවුරුදු 71 තුළ රට එතැනමයි කියන එකත්, දුප්පතා එතැනමයි කියන එකත් දෙකම ඇස් පනාපිට පේන බොරු !

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල