ඉතිහාසය, විද්‍යා හා තාක්ෂණ

දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය

Off

පසුගිය දවසක මා බලන්නට පැමිණි පරණ පත්‍ර මිත්‍රයන් දෙතුන් දෙනෙක් සමග සුන්දර සැන්දෑවක් ගත වුනා. එතෙන්දි අන්තර්ජාලය ලංකාවට එන්න කලින් අපේ ජීවිතේ ගෙවුණු හැටි ගැන කතා වුනා.

“දන්නවද මචන් 94 අවුරුද්දේ මැද අපේ පත්තරේ කවරයේ කතාවක් ගියා අන්තර්ජාලය ගැන. ඊට පස්සේ සතියේ වෙන පත්තරේක අර ලිපියට මඩක් ගහලා තිබ්බා. ප්‍රතිමල්ලව ලිපියේ මාතෘකාව මෙහෙම එකක්.

“හිම කන ඔටුවෝ”

ඉන්ටනෙට් එක ජීවිතේට අත්දැකලා නැති කෙනෙක් ලියපු මුල් ලිපිය නොසෑහෙන ලෙස විවේචනය කරල තිබ්බ. රුවන් කියපු විදිහට දෙවැනි ලිපිය මඩක්ම නෙවෙයි සාධාරණ විවේචනයක්. මොකද ඒ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාල අතර සන්නිවේදන ජාලයක් තිබ්බා වුනත් අපි වගේ මිනිස්සුන්ට ඉන්ටනෙට් එකක් ගැන මෙලෝ අත්දැකීමක් තිබ්බේ නෑනේ.

අවුරුදු විසිපහකට වඩා පැරණි මේ වගේ සිද්දි දින වකවානු හා මාතෘකා එක්කම රුවන් ගමගේට මතක තිබ්බේ කොහොමද කියල මම පුදුම වුනා.

මේ කතාබහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා. එහි තිබු එක්තරා පත්තර පිටුවක් දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා.

මම සද්ද නැතිව ඇවිත් ආපහු මිතුරු සමාගමට එකතු වුනා.

ඒ වනවිටත් රස කරමින් තිබ්බේ පරණ මතක සැමරුම් වුනත් අනෙක් අතීතාවර්ජනවලට වඩා තරමක් වෙනස් වුනේ මේවා විද්‍යාවට සම්බන්ධ වූ නිසා. එතැන සිටි බොහෝ දෙනෙක් විද්‍යා සන්නිවේදනයෙන් සිය ලේඛන කලාව පටන් ගත්තු වුන්.

පළවෙනිවරට පරිගණකයක් දුටු දවස වගේම පළවෙනි වරට ඊමේලයක් යැවූ දවස බොහෝ දෙනෙකුට මතක තිබ්බා.

එදා හැන්දෑවේ මම මතක මං පෙතේ ඇවිදමින් සිටිද්දී ජීවිතේ පළමුවරට සිදු වුවා යැයි මතකයේ රැඳුණු දේවල් කීපයක් සිහිපත් වුනා. මේ ඒ අතරින් කීපයක්:

ඉස්සෙල්ලාම මැෂින් තුවක්කුවක් දැක්ක දවස

යන්තම් අවුරුදු හතරක් විතර වෙද්දී මට මැෂින් තුවක්කුවක් දැකීමේ (අ)වාසනාව ලැබුනා. දවසක් අපේ ගමේ පාර කෙලවර වෙන තැන ආමි එකෙන් මුර දාලා තිබ්බා. අක්කලා කිව්වේ චේගුවේරාකාරයෝ අල්ලන්න ඇවිත් කියලා. ඒත් ඒ හමුදා භටයන් ළඟ තිබුණූ කළු පාට ආයුධය මට මාර සංවේදනයක් ගෙනාවා. මේකෙන් මිනිස්සු මරනවා කියලා කිසිම විදිහකින් හිතුනේ නෑ. තරමක් ලොකු වෙනකම් මම ඇඳපු හැම චිත්‍රයකම වගේ තුවක්කුවක් ගත්තු හමුදා භටයෙක් හිටියා. 1971 ට පස්සේ 83 ඉඳන් 2009 වෙනකම් තුවක්කු දැක්කා වුනාට අපේ පරම්පරාව හරියාකාරව පරිණත වුනේ නැති බවයි මට නම් තේරෙන්නේ.

පළමුවරට කේක් කෑම

ළදරු වයසේදී කේක් කෑවද කියල මට මතක නෑ. මට මතක පළමු කේක් රස වින්දේ ආච්චිලා ගෙදරදී, “කොළඹ මාමා ඇවිත්”. අපේ ගෙදර ඇවිස්සෙන සිද්දියක් තමයි මාමා ගමේ ඒම. ඒ ඔහු ගෙනෙන වයිවාරන රසකැවිලි නිසා. මේ කියන දවසේ අයියාත් අක්කලාත් කලින්ම ආච්චිලා ගෙදර ගිහින්.

“අන්න චුටික්කුන්ට මාමා කේක් ගෙනල්ලා බලා ඉන්නවා” කවුදෝ මාව වඩාගෙන ආච්චිලා ගෙදර ගියා. මාමා පේන්න හිටයද මතක නෑ. ආච්චී කුස්සියේ දුම්මැස්ස යට හාල් සෝදමින් සිටියා. කොරහයි නෑඹිලියයි ඇගේ දෑතේ නැළවෙනවා. අපි දුටු ගමන් ඈ “පොඩි එකාගේ කේක් කෑල්ල” කියමින් නැගී හිටියා. ආච්චි ලිපට උඩින් තිබු දුම්මැස්සේ උණ්ඩි කොට තිබුණු සව් කරදාසියක් දිග ඇරියා. එසේ දිග අරිද්දී,

අහෝ ඛේදයකි .! අර කේක් කෑල්ල සව් කරදසියෙන් හා ආච්චිගේ දෝතින් ලිස්සා විත් ජබෝග් ගාලා කොරහට වැටුණා.

ඒත් මම එතරම් අවාසනාවන්ත වුනේ නෑ. ආච්චි හාල් හේදූ වතුරෙන් මෙලෙක් වූ කේක් කෑල්ල දෙපැත්තට ගසා දමා ආපහු මගේ සිඟිති මුවේ රිංගෙව්වා. ඒ තමයි මා රසවිඳි මුල්ම කේක් කැබැල්ල. හාල් සේදූ වතුරෙන් පොඟවා ගත් බටර් කේක් තමයි මේ ලෝකේ රසම කෑම. අත්දුටුවයි සත්තයි.

ඉස්සෙල්ලාම කුකුල් මස් ගැන කතා වුනු දවස

ඉස්සර කඩවල බ්‍රොයිලර් චිකන් තිබ්බේ නෑ. සීතකරන තිබ්බ කඩ ගැන අහලා තිබ්බේ නෑ. කරවල, සැමන් ඇරුනහම ඉඳහිට හරක් මස් ගෙදරට ගෙනාවා. ඒත් කුකුල් මස් කාලා තිබ්බද කියල මතකයක් නෑ මේ සිද්දිය වෙනකම්. දවසක් අර කියන කොළඹ මාමා සිය පවුලත් සමග දියතලාවේ එද්දී කෝච්චියේදී ඉරාක ජාතික පවුලක් හමු වෙලා. ලංකාවේ සංචාරයකට ආපු මේ පවුල අපේ ගමේ ගෙදර ඇඩ්රස් එක හොයාගෙන ආවේ ඊට පස්සේ. අබ්බාස් කියල හුරු බුහුටි දඟකාර ළමයෙක් හිටියා මේ පවුලේ. මට ඔහුගේ හැම හැසිරීමක්ම මතකයි. මේ පවුලට ආගන්තුක සත්කාර කරන්න ඕනි වුනා. ඔවුන්ට කුකුල් මස් හා කහ බතකින් සංග්‍රහ කරන්න ඕනි කියලා මාමා කී නිසා කවුරුන් හෝ එහා ගමට ගිහින් කුකුල් මස් ගෙනාවා මතකයි. මේ තමයි කුකුල් මස් සම්බන්ධ මතකයක් තියෙන පළමුවෙනි දවස.

කුකුල් මස් නැති, කේක් නැති ලෝකෙක ජීවත් වූ අපි පරිගණක හෝ අන්තර්ජාලය නැති යුගයකත් ජීවත් වුනා.

ඉස්සෙල්ලාම අතුරු ජාලය ගැන ලියු ලිපිය

මේ තියෙන්නේ 1994 ලංකාවේ ජනප්‍රිය විද්‍යා පත්තරේක කවරය. එදා සතියේ විශේෂාංගය නම් කරලා තිබුනේ ‘සන්නිවේදන කරලිය එක දෙක කරන අතුරු ජාලය” කියලයි.

කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්

තිලක සිත

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල