ඉතිහාසය, දේශපාලන, විචාර

දුර ඈතක සිට රිචඩ් මා දෙස

Off

දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. 1990 වසරේ අද වැනි දවසක, එනම් පෙබරවාරි 18 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කළ ඇයගේ ආදරණීය පුත්‍රයා, රිචඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පසුදා, එනම් 19 වැනිදා මොරටුව කොරලවැල්ල මූදු තීරයේ වැතිරී තිබියදී හමු විය. මහා රැල්ලක් නැගී බිඳිණ. මවකගේ ජීවනාභිලාසය, ජීවිත පරමාර්ථය; සියලු කැපකිරීම් සමුදාය එක් නිමේෂයකින් උදුරා ගැනිණ.

හිස පසුපසටත් උගුරටත් වැදුණු වෙඩි පහර දෙකක් සහ බිඳුණු හනුවක් සමග රිචඩ් ද සොයිසා නම් සුන්දර මානවකයා තිස් දෙවැනි ජන්ම දිනයට හරියටම මාසයකට පෙර කොරලවැල්ල දුම්රියපොළ පසුපස මූදු තීරය හරහා තම ස්වර්ගීය ගමන් මග තෝරාගෙන තිබිණ.

විසි නම වසකට එහා අතීතයක වුවද රිචඩ් ද සොයිසා ද මනෝරානි සරවනමුත්තු ද සිහිපත් වීම වළක්වනු නොහැකිය. කලන්දක ජාතකයේ පැවසෙන්නේ මුහුදට වැටුණු ලේන් පැටවා බේරා ගන්නට තම වලිගයෙන් මුහුද සිඳලන්නට උත්සාහ කළ ලේන මවක් පිළිබඳවය. මනෝරානි සරවනමුත්තු ද ඒ ලෙහෙනිය මෙන්ම සයුර කළඹවන දාරක ස්නේහයකින් රිචඩ් ද සොයිසා වෙනුවෙන් සටන් වැදුණාය. මව්වරුන්ගේ පෙරමුණ නමින් සංවිධානයක් බිහි කර රිචඩ් හා සමාන ඉරණමකට මුහුණ දුන් දරුවන් උදෙසා හඬ අවදි කළාය.

මනෝරානි සරවනමුත්තු 1992 වසරේ ලක්දිව පුවත්පතට මෙසේ ලීවාය.

“දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා. මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා. ඔහු ඔහුගේ දේශයට එදා මෙන්ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන්ම ආදරෙයි. මියගිය බොහෝ දරුවන් ඔහු වගේම යැයි මා හිතනවා. සත්තකින්ම මා දන්නවා දිනයක් ඒවි. නිසැකවම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. ‘අම්මා අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා’යි කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මා සටන් කරනවා.”

රිචඩ් ද සොයිසා නැවත පැමිණියේ නැත. රිචඩ්ගේ වියෝවෙන් දින කීපයකට පසුව රූපවාහිනිය නරඹන මනෝරානි තම පුතුව පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ සිටි පොලිස් නිළධාරියෙකු හඳුනාගෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය. ඒ එවකට පොලිස්‌ අධිකාරිවරයෙකුව සිටි රොනී ගුණසිංහය. මහේස්ත්‍රාත්වරිය රෝහිණී පෙරේරා වහාම රොනී ගුණසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ නමුත් රොනී ගුණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විජේරත්න විසින් පොලිසියට නියෝග කර තිබිණ. 1993 මැයි 1 දා ආමර් වීදියේ පුපුරා ගිය බෝම්බයෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග රොනී ගුණසිංහ ද ජීවිතක්ෂයට පත් විය.

1991 මාර්තු මාසයේදී රාවය පුවත්පතට ලියන මනෝරානි සරවනමුත්තු රිචඩ් ද සොයිසාට ආමන්ත්‍රණය කර සංවේදී ලිපියක් ලීවාය. එය මෙලෙසින් අවසන් කළාය.

‘සිනාසෙමු, අපි එකට එදා මෙන් අප අතර වූ පුංචි විහිළුවලට
ජීවිතය ඇත තවමත් එදාමෙන් අප අතර අප අවට
බලා සිටිමි ඔබ එනතුරා අත ළඟම ඇති මද විරාමයකට
සියල්ල යථා පරිදි හොඳින් පවතී’

– මනෝරානී අම්මා –

ඇය පැවසූ පරිද්දෙන්ම සියල්ල යථා පරිදි හොඳින් පවතී. නමුත් රිචඩ් ද සොයිසා වරදකාරී ලෙස මතකයේ රැඳී ඇත.

කසීර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල