අධ්‍යාපනික, කාලීන සංවාද

ඇත්තටම ඔබ සහනාධාර ගතයුතු කෙනෙක්ද ?

Off

1995 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පිහිටුවන්නෙ එවකට 28.8%ක් ව පැවති ලංකාවේ දිළිඳුකම අඩු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසටය. එසේ ආරම්භ කරන ලද සමෘද්ධි ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණු වූයේ මුළු ලංකාවම ආවරණය වන පරිදි දිළිඳු පවුල් හඳුනාගෙන ඔවුන්ට සහනාධාර දී ඔවුන්ට යම් ආදායම් මාර්ගයක් හදාගැනීමට තැන්පතුවක්ද ආරම්භ කොට ‘දිළින්දන්’ යන නාමකරණයෙන් ඔවුන්ව ගළවා ගැනීමටය.

නමුත් සමෘද්ධි සහනාධාරයේ මුඛ්‍ය පරමාර්ථය ඉටු වීද ?

1999 වසරේදි සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ පවුල් ගණන මිලියන 1.7 කි. එය ලංකාවේ සමස්ත පවුල් ඒකක ගණන අනුව ප්‍රතිශතයක් ලෙස 30% කි.

2013 සිට 2018 දක්වා සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ පවුල් ගණන අනුපිළිවෙළින් පහත පරිදි වේ.

2013- පවුල් 1,477,173
2014- පවුල් 1,479,811
2015- පවුල් 1,453,078
2016- පවුල් 1,404,655
2017- පවුල් 1,388,242
2018- පවුල් 1,388,543

දශක දෙකක් ගෙවී ඇත. 2018 දි සමෘද්ධිය ලබන පවුල් ගණන ලංකාවේ සමස්ත පවුල් ඒකක වලින් ප්‍රතිශතයක් ලෙස 27.6% කි. 2016 දි එය 28.1% කි. ඉළක්කම් මෙසේ වූවාට 1995 වසරේදි ලංකාවේ දරිද්‍රතාව වූ 28.8% ප්‍රතිශතය 2016 වන විට 4.1% දක්වා අඩු වී ඇති බව ඔබ දන්නවාද ? නමුත් සමෘද්ධිය ලබා ගන්නා පවුල් සංඛාවෙහි ප්‍රතිශතය ඉළක්කම් දෙකෙන් එක දක්වා අඩු වී නැත.

ඉතින් සමෘද්ධියෙන් වැඩක් නොවූයේ යැයි යමෙක් කියන්නෙ නම් එය පුස්සකි. නමුත් සමෘද්ධිය තවදුරටත් ලැබෙන්නෙ සැබෑ දිළින්දන්ටද යන්න ප්‍රශ්නාර්ථයක් ඔබ හමුවේ තබන්නට කැමැත්තෙමි.

අප මේ සිටින්නෙ 2019 වසරේ ආරම්භයේය. 1995 වසරේ ආරම්භ කර 1996 වසරේ සිට සමෘද්ධි ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කර දැනට වසර 23කි. කාරණා එසේ වෙද්දි සමෘද්ධි ප්‍රතිලාභ වැඩසටහනේ රැඳී සිටින කාලය අනුව පවුල් වර්ගීකරණය කළහොත් ලැබෙන ප්‍රතිඵල ඇස් අදහා ගත නොහැකි තරම්ය.

•අවුරුදු 5ට අඩු කාලයක් සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් – 7.5%
•අවුරුදු 5 සිට 9 දක්වා සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් – 17.5%
•අවුරුදු 10 සිට 14 දක්වා සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් – 18.2%
•අවුරුදු 15-19 දක්වා සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්- 26.3%
•අවුරුදු 20ට වඩා සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්- 30.5%

ඒ අනුව සමස්ත සමෘද්ධි ප්‍රතිලාභ වලින් 57%ක්ම තවමත් ලබන්නෙ මෙම සමෘද්ධි වැඩසටහන ආරම්භයේදි ප්‍රතිලාභ ලැබූ පවුල් වීම මහා පුදුමයකි. ඒ පවුල් තවමත් සමෘද්ධියක් ලැබීමට සුදුස්සන්ද? අවුරුදු 15-20ක් සමෘද්ධියක් ලබමින් ජීවත් වීමට තරම් ඔවුන් අලස නම් සැබවින්ම මෙම සමෘද්ධි ප්‍රතිලාභ සංකල්පයේ ඇති ප්‍රගමනය කුමක්ද? එසේත් නැත්නම් රටේ සිටින සැබෑම දිළින්දන්ට ලැබිය යුතු අවස්ථාවන් සමහරක් කුහකයන් විසින් අහුරා තිබීම මහා පාපයක් නොවේද?

අප දේශපාලනඥයින්ට සෑම විටකම ඇඟිල්ල දික් කරමු. නමුත් අප අපෙන් විය යුතු යුතුකම් ඉටු කර ඇත් දැයි අප සිතා බැලිය යුතුය. හොඳින් අවට සමාජය දෙස බලන්න. සමහරවිට ඔබේ පවුලත් සමෘද්ධි ප්‍රතිලාභීන් විය හැකිය. සිතන්න…

ඔබ සැබවින්ම සමෘද්ධි ප්‍රතිලාභියෙක් විය යුත්තෙක්ද? ඔබ අහුරන්නෙ තවත් අහිංසක පවුලක් වෙනුවෙන් වෙන් විය යුතු ප්‍රතිලාභ නොවේද? ඔබ “මෙන්න අපේ සමෘද්ධිය කපා හරින්නට යනවෝ” කියා මොර දීමට සුදානමින් සිටින පිටතට හෙන සල්ලිකාර හදවතින් දුප්පත් මනුස්සයෙක්ද?

පහුගිය දවසක විශයභාර ඇමතිවරයා වන දයා ගමගේ මහතා වේදිකාවක කියූ කතාවක් මට මතක් විය. දැනට සමෘද්ධි සහනාධාර ලබන ලක්ශ 14ට අමතරව තවත් ලක්ශ 8ක් පොරොත්තු ලේඛණයේ සිටින බවත් ඔවුන්ටද සමෘද්ධිය ලබා දීමට ඔහු ක්‍රියා කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ගරු දයා ගමගේ ඇමතිතුමනි,

වැඩේ හොඳය. නමුත් ඔබ එයට අලුතින් ලක්ශ 8කට දෙන්නට කලින් කළ යුතු වැඩක් ඇත. ඔය සහනාධාරය ගන්නා ලක්ශ 14න් දැන් සමෘද්ධිය අවශ්‍ය නැති ලක්ශ 7ක් වත් සිටින බව මාගේ විශ්වාසයයි. එය එසේ නොවේ නම් 1995 දි ලංකාවේ දරිද්‍රතාවය වූ 28.8% ප්‍රතිශතය 2016 වන විට 4.1%ක් දක්වා පහත වැටීමේ ඉළක්කම් අගයද බොරුවක් විය යුතුය.

ගරු අමාත්‍යතුමනි,

නැවත කියමි. ඔබගේ අමාත්‍යාංශයට අයවැයෙන් වෙන් කෙරෙන මුදල් වලින් ඔබ කරන්නට යන වැඩ සම්බන්ධයෙන් ඔබට වගකීමක් ඇත. දෑස් හැර බලා වැඩ කරන්න.

රට වැසියනි,

රජයට සේම ඔබටත් වගකීමක් ඇත. වගකීමක් ඇති මිනිසුන් ලෙස ජීවත් වෙමු. නොමිලේ ලැබෙන නිසා සියල්ලම ගෙන තවත් අහිංසකයෙකුගෙ අවස්ථාවක් කරනවාට වඩා මෙවැනි දෙයකදීවත් අවංක වෙමු.

– උපුටා ගැනීමකි –

අසම්මතය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල