කාලීන සංවාද

ගුත්තිල හා මූසිල 1

Off

ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.

ඔයා අහවලාද?

ඔව්…ඔයා කවුද?

මම කසුන්…අපි මීට අවුරුදු තුන හතරකට කලින් හම්බ උනා අහවල් විශ්ව විද්‍යාලයේ දී මට මතක විදිහට…

එතකොටම මගේ මතකය වැඩ කරන්ඩ පටන් ගත්තා. ඔය කියන කාලයේ මම පශ්චාත් උපාධි අධ්‍යයනයක යෙදිලා හිටියේ කොළඹට කිට්ටු විශ්ව විද්‍යාලයක. එහි එක්තරා විෂයයක් සඳහා පැමිණි බාහිර කථිකාචාර්යවරයෙක් තමයි කසුන්. ඔහු එක්ක සාකච්චා කල දේ පැය කීපයකට පමණක් සීමා උනා. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. ඔහු මා තුල දල්වා ලූ ඥාන ගවේෂී උවමනාව. ඊට ඉස්සර මං ගැන පොඩි කතාවක් කියන්ඩ ඉඩ දෙන්ඩ.

මම හතර කෝරළේ ඉපදිලා ඉස්කෝලෙට ගිය කෙනෙක්. කන්නංගර මහත්තයට පින් සිද්ධ වෙන්ඩ නිදහස් අධ්‍යාපනයේ තව එක ප්‍රතිලාභයක් වෙච්ච ශිෂ්‍යත්ව කඩඉමෙන් පාස් වෙලා තමයි කොළඹ ගෙන්දගම් පොළොවේ ‘ලොකු’ ඉස්කෝලෙකට ආවෙ. ගෙදරින් පිටවෙලා කොළඹ ගත කරපු ජීවිතේ කවදාවත් සැප පහසු හෝ සිත් ඇදගන්නා සුළු එකක් උනේ නෑ. කිසිම දෙයක් වාසනාව හින්දා නොවෙන බවත් හැම දෙයක් වෙනුවෙන්ම අප්‍රමාන කැප කිරීම් හා උත්සාහයක් දැරිය යුතු බවත් මම ඉගෙන ගත්තේ අර කොළඹ ජීවිතේට පින් සිද්ධ වෙන්ඩ.

ඉතින් ඔහොම ගොඩ නැගෙන මගේ ජීවිතේ ආදර්ශ පාඨයක් උනේ ‘දිනන්නට බැරි නම් සෙල්ලම් නොකළ යුතු’ බව. ඒ කියන්නේ මට නැත්තං අනිත් කෙනාටත් නැති විය යුතුයි කියන ‘පෙරටුගාමී’ තර්කය නෙවෙයි. පරදින්නට නම් මහන්සි වී ඉගෙන ගැනීමේ ප්‍රතිපලයක් නැතිය කියන මුඩු කල්පනාව.

මේ ‘දාර්ශනික’ කල්පනාව හින්දම මම ලංකාව පරදින මැච් බැලිල්ල නැවැත්තුවා. තව ටික කාලෙකින් ලංකාව දිනුවත් අරවින්දයි, අර්ජුනයි ඉක්මනට අවුට් වෙච්ච මැච් බැලිල්ල නැවැත්තුවා. පස්සේ කාලෙක එතෙන්ට ආවේ සංගා. ලංකාව දිනුවත් මොකටද සංගා ඉක්මනට අවුට් වෙලා? ඒ විතරක් නෙවෙයි මගේ ආසම විෂයයක් වෙච්ච ඉතිහාසයේ උනත් මම කියෙව්වේ ලංකාව දිනන යුග ටික විතරයි. නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ ගෙන් පස්සේ මගේ ඉතිහාස දැනුම ඉවර උනා. නාට්‍ය උනත් වෙනත් කලාවක් උනත් ‘ශෝකය’ කියන්නේ ‘රසයක්’ නෙවෙයි!! පේනවා නේද මම, මාවම දාගෙන හිටපු මුඩු බවේ තරම.

මෙන්න මේ වෙලාවේ තමයි මට කසුන් හම්බ වෙන්නේ. ඔහු නිල වශයෙන් අපිත් එක්ක කතා කල විෂය වෙනත් එකක් උනත් වඩා වැදගත් කොටස ආවේ විවේක කාල වල.

මම ලංකාවේ පරණ පාරවල් හොයාගෙන යනවා හොබී එකක් විදිහට…එහෙම විවේක කාලයක ඔහු කිව්වා.

ඇයි පරණ පාරවල් හොයන්නේ? ඉතිහාසය ගැනත් පොඩි මෙව්වා එකක් තිබ්බ මම ඇහුවා.

පාරවල් හරහා තමයි අපේ ඉතිහාසය ගලා යන්නේ. ගගකින් වතුර ගලනවා වගේ ! ඒ කසුන්.

ඒ කොහොමද?

දැන් බලන්ඩ ඉස්සර නුවරට යන්ඩ තිබ්බ පාර මොකද්ද කොළඹ ඉඳලා ?

කෝට්ටේ ඉඳන් අවිස්සාවේල්ල පැත්තට ගිහින් කැළණි ගඟෙන් එතෙර වෙලා…..

හරි…දැන් පාර කොච්චර වෙනස්ද ඊට වඩා ?

ගලිගමුවේ ඉඳලා සම්පූර්ණයෙම්ම වෙනස්…ඊට අමතරව ටිකක් බස්නාහිර පැත්තට බර වෙලා….

ඇයි අලුත් පාර හැදුවේ නැත්තෙ සුද්දෝ පරණ පාර උඩින්.

ඉස්සෙල්ලා පාර තිබුනේ අපිට ඕන අයට විතරක් නුවර යන්ඩ ඉඩ දෙන්ඩ !

දැන් පාර තියෙන්නෙ?

සුද්දට ඕන දේවල් ගෙනියන්ඩ….

ඒ කියන්නේ ඔය තියෙන්නේ පාරවල් නෙවෙයි. ඒ ඒ කාලවල සමාජයේ තීරක බලවේග වල උවමනා එපාකං හරිද?

හ…..හ්……හරි!

එතකොට ඉතිහාසේ කියන්නේ මොකද්ද ?

ඒ ඒ කාලවල සමාජයේ තීරක බලවේග වල උවමනා එපාකං !

ඒ කියන්නේ ඉතිහාසේ කියන්නේ පාරවල් !!!

මම කැමති නෑ නුවර යුගය ගැන හොයන්ඩ ! මම කිව්වා.

ඇයි ?

අපි පැරදුනා නේ…මං කිව්වේ බිම බලාගෙන…

ඇයි අපි පැරදුනේ ?

රජ්ජුරුවන්ට විරුද්ධව රදළයෝ සුද්දන්ට එකතු වෙච්ච හිංදා.

ඇයි එහෙම එකතු උනා නං එකතු උනේ ?

දන්නේ නෑ…

අද රදළයෝ නැද්ද ?

ඉන්නවා..

අද රජවරු නැද්ද ?

ඉන්නවා…

ඒ අද ඉන්න රජවරුන්ට විරුද්ධව රදළයෝ නැගිටින එකක් නැද්ද ?

නැගිටීවි.

ඒ ඇයි?

දන්නේ නෑ….

ඔයා මොල්ලිගොඩගෙන්, පිලිමතලවුවේ ගෙන්, කැප්පෙටිපොළගෙන් , ඇහැලෙපොලගෙන් ඇහුව නං කියල දෙයි !

අපේ විවේක කාළය ඉවර උනා. හැබැයි කසුන් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා ඒ විනාඩි කීපයේදී. එහෙම තමයි ගුරුවරු !!

ඊට පස්සේ මම අඩු ගානේ රුපියල් හැට හැත්තෑ දාහක් එක්ක මාස හත අටක් වියදං කරන්ඩ ඇති මට මෙච්චර කල් මග ඇරිලා තිබ්බ, ලංකාවේ ඉතිහාසයේ ශෝකජනක කාලයන් ගැන හොයන්ඩ. මම මීට ඉස්සරත් කියල තියන විදිහට ඉතිහාසය ගැන ශාස්ත්‍රානුකූල ඉගෙනුමක් නොලබපු මට ඒ ගමන ලේසි උනේ නෑ. ඒත් අපැහැදිලි තැනක් එක්ක හිත පොර අල්ලන හැම වෙලාවේම කසුන් මා එක්ක අදෘශ්‍යමානව හිටියා.

ඔහොම කාලය ගෙවිලා ගියා. දැන් මට කසුන් ගේ රූප කාය මතක නෑ. ‘ධර්ම කාය’ තමයි මතක !

එහෙව් අවස්ථාවක ගිය සතියේ කසුන් ම මං ගාවට ඇවිත් ඔබ අහවලාද කියල අහන කොට !!! පසග පිහිටුවා වදින්ඩ වටිනා ගුරුවරයාට ගෝලයාව මතක තිබුනා. ගෝලයාට ගුරුවරයාගේ රූපය අමතක උනත් ඔහු කල සේවය මතක තිබුනා. ඒ හින්දම අර තේ විවේකයෙන් පස්සේ වෙච්ච දේවල් මම කසුන්ට නොවලහා කිව්වා.

සතුටුයි…මගෙන් යමක් ඉගෙන ගත්තානං! ඔහු කිව්වේ එච්චරයි. එහෙම තමයි ගුරුවරු !!

ඇයි කසුන් අපේ ලෙක්චර් සීරිස් එක නැවැත්තුවේ? මම ඔහුගෙන් ඇහුවා…

ආ….හ්….ඔහු මද සිනාවකින් මුහුණ සරසා ගන්නා ගමන් කිව්වා.

ඇයි ?

ඒක පොඩි කතාවක්.

මොකද්ද ප්‍රශ්නේ? ඔයා ගුරුවරයෙක් විදිහට අනික් හුගක් අයට ඉස්සරහින් ඉන්දැද්දී ඇයි ඔයා කැම්පස් එකේ උගන්නන්ඩ ගියේ නැත්තේ ?

විසිටින් කරන්ඩ දෙන්නේ නැත්නම් පර්මනන්ට් පොසිෂන් එකක් දෙයිද මට ?

ඒ කියන්නේ ඇතුලෙන් ආපු කචල් එකක්ද ?

හ්ම්….

ඔහු ඊට වඩා ඒ ගැන විස්තර කියන්ඩ ගියේ නෑ. එහෙම තමයි ගුරුවරු. තමන්ගේ ප්‍රශ්න ගැන ලොකුවට කතා කරන්නේ නෑ. K;,ගෝලයන්ගේ ප්‍රශ්නයක් ආවොත් දවස් ගානක් ඒක විසදන්ඩ මහනි උනත් තමන්ගේ ප්‍රශ්න විසදගන්ඩ එච්චර උවමනාවක් නැති අමුතුම ජීව කොට්ටාසයක් ගුරුවරු කියන්නේ. තමන් දන්නා දේ ලෝකයේ යහපත වෙනුවෙන්, තමන්ගේ ගෝලයන්ට නොමසුරුව බෙදන එක තමයි ගුරුකම කියන්නේ. එහෙම නේද?

ඔන්න එතකොට මට තව ගුරුවරයෙක් ගැන මතක් උනා. ඒ ගුරුවරයා නං ටිකක් වෙනස් විදිහට හැසිරුනා කියල තමයි පොතේ තියෙන්නේ.

බලමින් ලකුණු ග ත
දුදන ගුණ දන ඔහු සි ත
නොවසව තොප මවෙ ත
සිල්ප නොදෙමැයි කිවෙන් මහස ත

කවුද කියල දන්නවනේ.. ගුත්තිල පඬිතුමා!!!. ඒ කියන්නේ ශිල්ප දෙන්ඩ ඉස්සර වෙලා මූසිලගේ ශරීර ලක්ෂණ දැකලා ඔහු දුර්ජනයෙක් හිතලා ශිල්ප දෙන්ඩ බෑ කිව්වා කියලයි ගුත්තිල කාව්‍යයේ තියෙන්නේ. හැබැයි මූසිලත් අත අරින්නේ නෑ. ඔහුට නැති වෙන්ඩ දෙයක් නෑ. තමන්ගේ වීණා වාදනය හොද නෑ කියල නිකං නෙවෙයි ලෝකේ තියන පීචංම විදිහකට දැන ගෙන තමයි ඔහු තමන්ගේ උපන් බිමෙන් දුර තැනකට ඇවිත් ඉන්නේ ශිල්ප ඉගෙන ගැනීමේ අරමුණෙන්.

ඔය ගුත්තිල කාව්‍යය ලිව්වේ කවුද කියල හරියටම කියන්ඩ සාධක නෑ. ඇත්තටම සලාගම ජයපාල මැතිතුමාගේ ආරාධනාවෙන් ලිව්වා කියල විතරයි පොතේ තියෙන්නේ මම දන්නා තරමින්. ඒත් හැමෝම වගේ විශ්වාස කරන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වෙච්ච වෑත්තෑවේ හාමුදුරුවෝ මේ කවි පොත ලිව්වා කියල. ප්‍රසිද්ධ ජන ප්‍රවාදයකට අනුව නම් රාහුල හාමුදුරුවනුත් එක්ක හිත නොහොද කමක් හදා ගන්න වෑත්තෑවේ හාමුදුරුවෝ තමන් යන බවත් ඒත් ගුරු ගෞරවය නො නැසී තිබෙන බවත් කියන්ඩ තමයි ගුත්තිල කාව්‍යය ලියන්නේ.

පොඩ්ඩක් ඉන්ඩ….පොඩ්ඩක් ඉන්ඩ…ගුරු ගෞරවය ගැන ගෝලයා ලියපු පොතක් ද ගුත්තිලය? එතකොට ඒකෙ කියවෙන්නෙ ගුරු ගෞරවය නැති මහ එපා කරපු ගෝලයෙක් ගැන කියල නේද අපිට උගන්නලා තියෙන්නේ? මොකක් හරි පැටලිල්ලක් තියනවා නේද? අපි ආපහු කියවමුද ගුත්තිලය කාව්‍යය මේ ඉතිහාසගත පටලැවිල්ල බේර ගන්ඩ? මං ගාව ජාතක කතා පොත් වහන්සේත්, ගුත්තිල කාව්‍යය පොතත් තියනවා. ඊට අමතරව ඛුද්ධක නිකායේ ගුත්තිල ජාතක කතාවට අදාළ අටුවාවත් අපිට උදව් වෙයි මේ පටලැවිල්ල ලිහා ගන්ඩ.

පෝස්ට් එක දිග වැඩි වෙන හින්දා මෙතැනින් නැවැත්තුවත් ලගදීම ඊලග කොටසත් එක්ක අපි කසුන්ගේ ගුරුවරු ගැනත්, කසුන් කියන ගුරුවරයා ගැනත් වැඩිපුර අහලා බලමු ගුත්තිල පඬිතුමාගෙනුයි මූසිල ගෙනුයි. ඒ ක්‍රමය කියල දුන්නෙත් කසුන්මනේ. ගුරුවරු අල්ලපු මාළු දෙන්නේ නෑ… මාළු අල්ලන හැටියි කියල දෙන්නේ. ඒත් එක්ක බෝනස් එකක් විදිහට අපිට හම්බ වෙනවා කෝට්ටේ යුගයේ තවත් කතන්දරයක්. ශ්‍රී රාහුල හාමුදුරුවෝ සම්බන්ධ.

ආවඩා…ආයු බෝ වේවා!!!

කට්ටකාඩුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල