ඉතිහාසය, ප්‍රහසන

ඒක කන්දෝ මේක කන්දෝ

Off

මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු.

මේක මං පොඩි කාලේ අපේ අම්මා මට කියලා දීපු කතාවක්.සමහර ඈයෝ දන්නවත් ඇති. නොදන්න පිරිසක් ඇති ය කියලා හිතලාමයි මේ කතාව ලියලා දාන්නේ.

එහෙනං තුන් හතර පොලකින්ම වාඩි උනා නං.

ඔන්න එකෝමත් එක රටක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් උනා. මේ අම්මයි පුතයි හරි දුප්පත්. ඒ වගේම තමා මේ පුතාගේ තාත්තා ජීවත් වෙලා උන්නේ නෑ. පවුලේ එකම කොල්ලා නිසා මේකා සෙල්ලක්කාර කමට හැදිලා අම්මා උයා පිහා දෙන දෙයක් කාලා පැත්ත වැටිලා නිදියන්ඩ පුරුදු වෙලා උන්නේ.

මේ අම්මටත් මේ කොල්ලගේ කල් කිරියාව ගැන ඒ තරම් පහැදීමක් නෑ. ඔන්න ඒ නිසා දවසක් මේ අම්මා උදෙම්ම නැගිටලා පොල් රොටියක් හදවලා කොල්ලෑ අතට දුන්නා.

ඒ දෙන ගමන්,

“මේ රොටිය අරං ගිහින් රස්සාවක් හොයාගෙන මිසක් ආයෙම ගෙදර එන්නේ නෑ” කියලා කිව්වා.

කොල්ලත් රොටිය අරගෙන ගෙයින් එළියට බැස්සා. කොල්ලා සෑහෙන දුරක් ඇවිද්දත් රස්සාවක් හම්බ උනේ නෑ. තව ටිකක් දුරක් ගිහින් මහන්සියටම ලොකු ගහක් යට වාඩි උනා. ඒක ලොකු ගොරකා ගහක්. අවු කූටකේ ඇවිදලා දනිස් දෙකත් රිදෙනවා. ඒත්තෙක්කම දිව ගිලෙන්ඩ පිපාසේ.

බඩගින්නත් වැඩි වෙලා.

කොල්ලා රොටිය අතට අරගෙන කෑලි දෙකකට රොටිය කැඩුවා. කොල්ලා රොටිය දෙකට කැඩුවට මොකෝ එක කෑල්ලක් ලොකුයි අනෙක් කෑල්ල පොඩියි.

කොල්ලා කල්පනා කලා ලොකු කෑල්ලද කන්නේ පොඩි කෑල්ලද කන්නේ කියලා.එහෙම කල්පනා කර කර ඉදලා එකපාරටම,

“ඒක කන්දෝ මේක කන්දෝ !!” කියලා කිව්වා.

කොල්ලා කිව්වේ ලොකු කෑල්ල කනවද පොඩි කෑල්ල කනවද කියලා. මේ කතාව ගහ උඩ උන්නූ යකාට ඇහුනා. ඒ යකා හිතුවේ ගහ උඩ ඉන්න යකාව කනවද රොටිය කනවද කියලා…

යකා දනි පනි ගාලා ගහෙන් බැහැලා කොල්ලා ඉදිරියට ඇවිත් අනේ බුදු මහත්තයෝ මාව කන්න එපා මම කියන ඕන දෙයක් කරන්නං කියලා කිව්වා.

ඒත්තෙක්කම කොල්ලා කිව්වා,

“එහෙනං මට රස්සාවක් හොයලා දෙන්ඩ” කියලා.

යකා ගත් කටටම කිව්වා,
“මට රස්සාවක් දෙන්න නම් නෑ. ඒත් මම ඔයාට කළයක් දෙන්නම්” කිව්වා. මේ කළය ඇළ කලහම රන් කාසි ලැබෙනවා කියලත් කිව්වා. කොල්ලා කළයත් අරගෙන ගෙදර එන්න ගත්තා.

කොල්ලට වැඩි දුරක් එන්ඩ උනේ නෑ. රෑ බෝ වෙලා වටින් ගොඩින් අඳුර වැටුනා. මේ නිසාම ළඟපාත ගේකට ගොඩවෙලා, රෑ ගත කරලා පහුවෙනිදා උදෙන්ම ගෙදර යනවා කියලා හිතලා ගේකට ගොඩ උනා.

ඒ ගෙදර උදවිය කොල්ලා එක්ක කතා කරලා විස්තර ඇහැව්වා. කොල්ලත් මෝඩයා වගේ කළය ගැනත් ඒ උදවියට කිව්වා. ඒ ගෙදර කට්ටිය කොල්ලා නිදා ගන්නකන් ඉදලා ඇත්ත කළය අරගෙන බොරු කළයක් ඒ වෙනුවට තිබ්බා.

කොල්ලා මේ කිසිම දෙයක් දන්නේ නැති නිසා කළයත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් බලනකොට ඒ කළයෙන් රන් කාසි ලැබුණේ නෑ.

කොල්ලා පහුවෙනිදත් රොටියක් හදාගෙන ගිහින් ඒ ගහ යටදීම “ඒක කන්දෝ මේක කන්දෝ” කියලා කිව්වා.

එදා වගේම යකා ගහෙන් බැහැලා ඇවිත් කොල්ලා ඉදිරියේ වැඳ වැටිලා කිව්වා තමන්ව කන්න එපා ය කියලා. ඒ වෙනුවට කොල්ලට අරුම පුදුම බුමුතුරුණක් දුන්නා. ඒ කියන්නේ ඇතිරිල්ලක්.

ඒක බිම එළුවහම කෑම ජාති මැවෙනවා. යකා එක එක කෑම ජාති මවලා පෙන්නුවා. කොල්ලත් සතුටින් මේ ඇතිරිල්ල අරගෙන ගෙදර යන්න පිටත් උනා. ඔන්න එතකොටම රෑ උනා. වෙනදා වගේම එදත් ඒ ගෙදරටම ගියා.

එදත් කොල්ලගෙන් විස්තර අහගෙන ඇත්ත ඇතිරිල්ල මාරු කරලා බොරු එකක් කොල්ල ළඟින් තිබ්බා. කොල්ලා ඒකත් අරන් පහුවෙනිදා ගෙදර ගියා. ඒත් කෑම ජාති මැවුනේ නම් නෑ.

පහුවෙනිදත් කොල්ලා රොටියක් හදාගෙන ඒ ගහ යටට ගිහින් “ඒක කම්දෝ මේක කම්දෝ” කියලා කිව්වා.

යකා ඇවිත් කොල්ලට සිතූ පැතූ සම්පත් දෙන අරුම පුදුම ගහක් දුන්නා. ඒ ගහ යටට ගිහින් මොනාහරි දෙයක් හිතුවහම ඒ දේ මැවෙනවා.

එදත් කොල්ලට ඒ සිතූ පැතූ සම්පත් දෙන ගහ අරගෙන ගෙදර යන්න උනේ නෑ. ඒ ගෙදර උදවිය ඇත්ත ගහ වෙනුවට බොරු ගහක් කොල්ලා ගාවින් තියලා. කොල්ලා ගෙදර අරන් ගිහින් තිබ්බේ බොරු ගහක්. ඒ නිසා සිතූ පැතූ සම්පත් පහල උනේ නෑ.

ඔන්න හතරවෙනි වතාවටත් කොල්ලා රොටියක් හදාගෙන ගිහින් ගොරකා ගහ යටදී “ඒක කන්දෝ මේක කන්දෝ” කියලා කිව්වා.

එදා යකා, කොල්ලට දුන්නේ බස්තමක්. ඒක අතට අරගෙන “අල්ලං බස්තම් ගහපන් පොල්ලෙන්” කියලා කිව්වහම ඒ බස්තමෙන් ළඟ ඉන්න අයට පහර දෙන්න ගන්නවා.

කොල්ලා ඒකත් අරගෙන අර ගෙදරට ගියා. ගිහින් වෙනදා වගේම ඒ උදවිය විස්තර ඇහුවා. කොල්ලා එක පාරටම “අල්ලං බස්තම් ගහපන් පොල්ලෙන්” කියලා කිව්වා. බස්තම දිගට හරහට ගෙදර අයට පහර දෙන්ඩ ගත්තා.

ගෙදර අය කොල්ලා ඉදිරියේ වැඳ වැටිලා,

“අපි ඔයාගෙන් හොරකම් කරපු දේවල් සේරම දෙන්නං. අපිට ගහන්න එපා…” කියලා කිව්වා.

එදා කොල්ලාගෙන් හොරකම් කරපු කළයයි, බුමුතුරුණයි, සිතූ පැතූ සම්පත් දෙන ගහයි ආපහු දුන්නා.

කොල්ලා ඒවත් අරගෙන පහුවෙනිදා සතුටින් ගෙදර ගියා.

ඊට පස්සේ ඒ අම්මයි පුතයි සතුටින් කාළය ගත කලා. ඔන්න ඕකයි යාළුවනේ අපේ අම්මා අපිට පොඩි කාළේ කියලා දීපු ජන කතාව.

එහෙනං මං ගියාවේ. ඔයාලට ජය හා සතුට !

සිතක සංකල්පනා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල