කාලීන සංවාද, දේශපාලන

කරුවලේ සිට ලියමි – Words without Electricity !!

Off

කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින්ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩකමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.

කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන්වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මොන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12 ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන්වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝකවල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Sam’s Blog

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල