අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන, විචාර

ඇමරිකන් කුණු හා චීන කුණු

Off

නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නය ආර්ථික සංවර්ධනයේ එක්තරා අදියරකදී රටකට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්නයක්. ලෝකයේ ලොකුම ආර්ථිකය වූ ඇමරිකාව සෑහෙන කලක් තිස්සේ ලෝකයේ ලොකුම කුණු නිෂ්පාදකයාද වුනා. දැන් ඒ තැනට පත්ව ඉන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමරිකාව හා ඉන්දියාව වගේම චීනයත් ලෝකයේ විශාලතම කුණු නිෂ්පාදකයෙක්.

ආර්ථිකය ප්‍රසාරණය වීමට සාපේක්ෂව රටක නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදන පරිමාවත් ඉහළ යනවා. නමුත්, ඇමරිකාව දැන් ඉන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තවත් වැඩි වැඩියෙන් කුණු නිෂ්පාදනය කළ යුතු අදියර පහු කරලා. පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඇමරිකාවේ ඒක පුද්ගල කුණු නිෂ්පාදනය පහත ගොස් තිබෙනවා. නමුත්, චීනය, ඉන්දියාව වගේ රටවල සිදු වෙන්නේ එහි අනිත් පැත්තයි.

ඇමරිකාවේ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ දත්ත අනුව 2015 වසරේදී ඇමරිකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 262.4 ක්. මේ කුණුවලින් ටොන් මිලියන 68 ක් ප්‍රතිචක්‍රීකරණය කර තිබෙන අතර තවත් ටොන් මිලියන 23 කින් කොම්පෝස්ට් පොහොර හදා තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ කුණුවලින් ටොන් මිලියන 93 ක් එනම් 34.7% ක් ප්‍රතිචක්‍රීකරණය කෙරී හෝ කොම්පෝස්ට් බවට පත් වී තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් ටොන් මිලියන 33 ක් (12.8% ක්) බලශක්තිය ජනනය කරමින් දහනය කර තිබෙන අතර ටොන් මිලියන 137 ක් (52.5% ක්) සනීපාරක්ෂිත ලෙස වළලා දමා තිබෙනවා.

මෑතකාලීන ලෝක බැංකු වාර්තාවකට අනුව, ඇමරිකාව, ඉන්දියාව, චීනය හා ලංකාව යන රටවල 2016, 2030 හා 2050 වසරවලදී නිෂ්පාදනය කෙරෙනු ඇතැයි සැලකෙන නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් ගණන මෙහෙමයි.

ඇමරිකාව
2016: 263,726,732
2030: 311,039,297
2050: 359,887,136

චීනය
2016: 220,402,706
2030: 295,035,224
2050: 335,791,732

ඉන්දියාව
2016: 277,136,133
2030: 387,770,524
2050: 543,277,457

ශ්‍රී ලංකාව
2016: 2,581,444
2030: 3,168,447
2050: 3,746,891

චීනයේ කුණු වලින් 60.2% ක් වලලා දැමෙන අතර 29.8% ක් දහනය කෙරෙනවා. තවත් 8.2% ක් විවෘත තැන්වල ගොඩ ගසනවා. කොම්පෝස්ට් ලෙස නැවත ප්‍රයෝජනයට ගැනෙන්නේ කුණුවලින් 3% ක් පමණයි. ඉන්දියාවේ කුණුවලින් 77% ක්ම විවෘත තැන්වල ගොඩගසන නමුත් 18% කින් කොම්පෝස්ට් හදා 5% ක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛණවලට අනුව, ලංකාවේ කුණුවලින් 85% ක් විවෘත තැන්වල ගොඩගසන අතර 12.8% ක් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත්, තවත් 5% කින් කොම්පෝස්ට් හදන බවත් පෙන්වන නමුත් මේ ප්‍රතිශතවල එකතුව 100% ඉක්මවන නිසා මෙහි කිසියම් වරදක් ඇති බව පෙනෙනවා.

සමහර අයගේ හිස් ඇතුළේ පුරවගෙන ඉන්න කුණු ප්‍රමාණය ඔය කොයි රටේ නිපදවන කුණු ප්‍රමාණයටත් වඩා වැඩියි. ඒ අය බොහෝ වෙලාවට ඒ කුණු විවෘත අවකාශයට මුදා හරිනවා. උඩින් පළ කර තිබෙන්නේ එවැනි අය වත්පොත හරහා ප්‍රචාරය කරන කාටූනයක්. මෙය පකිස්ථානය හෝ ඉන්දුනීසියාව වැනි රටක ජීවත් වන අයෙකුගේ පරිකල්පනයක් වෙන්න පුළුවන්.

කාටූනය අනුව කිසියම් පුද්ගලයෙකු පාර අතුගානවා. ඔහුව පෙන්වමින් ඇමරිකන් කාන්තාවක් තමන්ගේ දරුවාට මෙහෙම කියනවා.

“අර මෝඩ මනුස්සයා දිහා බලන්න. ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාටත් වෙන්නේ ඔය වගේ පාර අතුගාන්න”

නමුත්, සමාජවාදී රටක (පැරණි සෝවියට් දේශයේ) කාන්තාවක් තමන්ගේ දරුවාට මේ පුද්ගලයාව හඳුන්වා දෙන්නේ වෙනත් විදිහකටයි.

“අර සහෝදරයා දිහා බලන්න. ඔහු සමාජයට සේවයක් කරනවා. ඔහුගේ ශ්‍රමය නිසා අපේ සමාජය වඩා ලස්සන වෙනවා”

මේ කාටූනය ඇඳපු පුද්ගලයා ඇමරිකාව ගැන හරියට නොදන්නා බවනම් පැහැදිලියි. පළමුව, ඔය විදිහේ පාර අතුගාන පුද්ගලයින් ඇමරිකාවේ දකින්න නැහැ. දෙවනුව, තමන්ගේ දරුවන්ට ඔය වගේ කතාවක් කියන අම්මෙක් ඇමරිකාවේ හිටියොත් ඒ බොහෝ විට චීනය, ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටකින් සංක්‍රමණය වූ අයෙක්.

ඇමරිකාවේ පාරවල් ඔය විදිහට අතුගාන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. සංක්‍රමණිකයින් බහුල ඇතැම් පැති හැරුණු විට සාමාන්‍යයෙන් මිනිස්සු පාරවල්වල කුණු දමන්නේ නැහැ. එක් එක් වීදියේ කුණු එකතු කරන නිශ්චිත සතියේ දවසක් තිබෙනවා. ඒ දවසට නිවැසියන් තමන්ගේ කුණු බක්කි පාර අයිනෙන් තියනවා. අනෙක් දවස්වලට කුණු බක්කි ප්‍රදර්ශනය කිරීමට අවසරයක් නැහැ. (එයත් ප්‍රදේශයේ නිවැසියන් විසින් තමන්ගේ කැමැත්තෙන් ඇති කරගෙන තිබෙන නියමයක් මිස ආණ්ඩුවෙන් නියම කර තිබෙන දෙයක් නෙමෙයි)

කුණු එකතු කරන ට්‍රක් රථ අදාළ දවසේ නියමිත වෙලාවට එනවා. ප්‍රතිචක්‍රීකරණය කළ යුතු කුණු එකතු කරන්නේ වෙනම රථයකින්. මේ කුණු එකතු කරන ට්‍රක් රථයක රියැදුරා කුණු බක්කිය ඔසොවා රථයට හලා ගන්නේ රියදුරු අසුනේ සිට පාලනය කළ හැකි යාන්ත්‍රික අතකින්. කුණු ටික හලා ගැනීමෙන් පසුව හිස් බක්කිය නැවත නිවස ඉරිදිපිට පාර අයිනෙන් තියන්නෙත් එලෙසමයි. නමුත්, ඇතැම් නිවැසියන් එසේ යාන්ත්‍රික අතින් අල්ලා ගත හැකි සීමාවේ කුණු බක්කිය නොතබන වෙලාවල් තිබෙනවා.ඒ වගේ වෙලාවට, එහෙමත් නැත්නම් වෙනත් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් වැනි විශේෂ යමක් (උදාහරණයක් ලෙස රූපවාහිණී යන්ත්‍ර අසුරනයක්) කුණු බක්කිය සමඟ අපද්‍රව්‍යයක් සේ බැහැර කර ඇති විට රියදුරු සහායකයාට එය ට්‍රක් රථයට දමාගන්න සිදුවෙනවා.

කොහොම වුනත්, ඇමරිකාවේදී මේ කුණු එකතු කරන්නන්ගේ ජීවිත තුන්වන ලෝකයේ රටකදී මෙන් දුක්ඛිත නැහැ. වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සමාජයට සේවය කරන සියල්ලන්ටම තමන් කරන සේවයේ නියම මිල වැටුප් සේ ලැබෙන නිසා ඔවුන් සේවයක් කරන බව අමුතුවෙන් ඇඟිල්ල දිගු කර පෙන්වන්න අවශ්‍ය නැහැ. එසේ කිරීම අවශ්‍ය වන්නේ සමාජයට සේවය කරනවා කියන බොරු ලේබලය අලවා අඩු වැටුපකට මිනිහෙක් කරන්න අකැමැති දෙයක් කරගන්නා අවස්ථාවලදීයි. ඇමරිකන් ආණ්ඩුව ඇතුළු ආණ්ඩු විසින් රණවිරු ලේබලය අලවා තරුණයන් යුද්ධයට යවා කරන්නේත් ඔය වගේ දෙයක්.

මොලිනා හා ශංකර් කියන්නේ නිව්යෝර්ක් නගරයේ කුණු එකතු කරන්නන් දෙන්නෙක්. මොලිනා කුණු ට්‍රක්රථයේ රියැදුරා. ගයනාවේ සිට පැමිණි සංක්‍රමණිකයෙක් වන ශංකර් රියදුරු සහායකයා. උසස්පෙළ අසමතුන් වන මේ දෙන්නාටම මේ වගේ රැකියා තෝරා ගන්න සිදු වී තිබෙන්නේ වඩා හොඳ රැකියාවක් කිරීමට තරම් අධ්‍යාපනයක් ඔවුන් විසින් ලබා නොතිබීම නිසා බව ඇත්තක්. එහෙත්, ඔවුන් වසර දහයක පමණ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් මේ රැකියාවේ නිරතව ඉන්නේ මේ රැකියාවෙන් ඔවුන්ට සැලකිය යුතු තරම් ඉහළ වැටුපක් ලැබෙන නිසයි. මොලිනාගේ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 112,000ක්. ශංකර්ගේ වැටුප ඩොලර් 100,000ක්. රුපියල් වලින්නම් මාසයකට ලක්ෂ 15කට වැඩියි.

හැම කුණු එකතු කරන්නාටම මොලිනාට හා ශංකර්ට තරම් ලොකු වැටුප් නොලැබෙන බව කාට හරි කියන්න පුළුවන්. ඇත්ත. ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත අනුව කුණු එකතු කරන්නෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 36,160ක්. මොලිනාගේ හා ශංකර්ගේ වැටුප්වලට වඩා අඩු වුනත් මාසයකට රුපියල් ලක්ෂ හයකට කිට්ටු වැටුපක්. මේ වැටුප ඇමරිකාවේ හැටියට වුනත් නරකම නැහැ. වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබෙන පාසැලක ගුරු සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 26,260ක් පමණයි.

ඇමරිකාවේදී කුණු එකතු කරන්නෙකු ඔහුගේ හෝ ඇයගේ රැකියාව මත පදනම්ව පහත් කොට සලකන්නේ නැහැ. එසේ වුවත්, කුණු එකතු කිරීම ජනප්‍රිය රැකියාවක් නෙමෙයි.

වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එසේ නැතුව ආණ්ඩුවෙන් වැටුප් තීරණය කරන්නේ නැහැ. කුණු එකතු කිරීම රැකියාවක් ලෙස ජනප්‍රිය නොවන තරමට ඒ රැකියාවට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එවිට ස්වභාවික ලෙසම වැටුප් ඉහළ යනවා. ඇමරිකාවේ කුණු එකතු කරන්නන්ගේ වැටුප් ගුරු සහායකයින්ගේ වැටුප්වලට වඩා ඉහළින් තිබෙන්නේ ඒ නිසයි. ගුරු සහායකයින්ට තමන්ට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති නිසා කුණු එකතු කරන්නන්ට වඩා වැඩි වැටුප් හිමි විය යුතු බව කියමින් වර්ජනය කරන්න බැහැ. එසේ වර්ජනය කළොත් ගුරු සහායකයින් සේ සේවය කරන්න කැමති තවත් අය ඕනෑ තරම් රටේ ඉන්නවා. ධනවාදී රටක කිසියම් පුද්ගලයෙකු යම් රැකියාවක් හරහා සමාජයට කරන සේවය ඔහු හෝ ඇය විසින් ලබන වැටුපට සමානයි. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

දැන් අපි හිතමු අර උඩ කාටුන් එකේ වගේ කුණු එකතු කරන්නන් දිහා ඇමරිකන් සමාජය ගොඩක් නිශේධනාත්මක ලෙස බලන්න පටන් ගත්තා කියා. එහි ප්‍රතිඵලය වන්නේ මේ රැකියාවට තිබෙන ඉල්ලුම තවත් පහළ ගොස් රැකියාව කරන අයගේ වැටුප් තවත් ඉහළ යන එකයි. එවිට, ඒ මිල ගෙවන්න වෙන්නේ කුණු බැහැර කරන්න අවශ්‍ය පාරිභෝගිකයින් වන අපටයි. සල්ලි ගෙවා නරක ආකල්ප නඩත්තු කරන්න කාටවත් අවශ්‍ය නැහැ. ඒ වගේම කුණු එකතු කරන්නන්ගේ වැටුප් ඉහළ යන තරමට මේ කටයුත්ත සඳහා තාක්ෂනය යොදා ගැනීම වඩා ලාභදායක වෙනවා. තාක්ෂනය යොදා ගැනීම වැඩි වන තරමට කුණු එකතු කරන්නන්ගේ රැකියාව වඩා පහසු වී රැකියාවට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. කුණු එකතු කරන ට්‍රක් රථවලට යාන්ත්‍රික අත් එකතු වී තිබෙන්නේ ඒ විදිහටයි.

මේ සියල්ලම වෙළඳපොළ යාන්ත්‍රණය තුල ස්වභාවිකවම සිදු වන දේවල්. එහෙම නැතුව ඇමරිකාවේ පාලකයින් ලංකාවේ පාලකයින්ට වඩා දක්ෂ සැලසුම්කරුවන් වන නිසා සිදුව ඇති දේවල් නෙමෙයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ දී ආණ්ඩුව ජන ජීවිතයට මැදිහත්වීමෙන් ඉවත් වන තරමට රටේ කාගේත් ජනජීවිතය වඩා යහපත් වෙනවා. තමන්ගේ ඔළුවල ටොන් ගණන් කුණු පුරවාගෙන තැන් තැන්වල ඒ කුණු හලමින් යන අය හිතන්නේ වැරැද්ද දැන් ඉන්න හෝ හිටපු පාලකයින්ගේ නිසා ආණ්ඩුවේ ඔළු වෙනස් කර රටක් සුඛිත මුදිත කළ හැකි බවයි. අනෙක් අයට කරදරයක් නොවන තාක්, කුණු ඔළුවේ පුරවාගෙන ජීවත් වෙන්න කැමති අයගේ ඒ අයිතියටත් අප ගරු කරනවා.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල